اسلام‌هاوس · සිංහල

1.ප්‍රතික්ෂේප කොට අල්ලාහ්ගේ මාර්ගයෙන් (මිනිසුන්) වැළැක්වූවන් වනාහි ඔවුන්ගේ ක්‍රියාවන් ඔහු (අල්ලාහ්) නැතිකර දැමීය
2.තවද විශ්වාස කොට යහකම් සිදු කොට මුහම්මද් වෙත පහළ කරනු ලැබූ දෑ එය ඔවුන්ගේ පරමාධිපතිගෙන් වූ සත්‍යයකි යැයි විශ්වාස කළවුන් වනාහි ඔවුන්ගේ පාපයන් ඔවුන්ගෙන් ඔහු ඉවත් කරයි. තවද ඔවුන්ගේ තත්ත්වය ඔහු විධිමත් කර දෙයි
3.එයට හේතුව නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කළවුන් නිෂ්ඵල දෑ අනුගමනය කළ බැවින් හා විශ්වාස කළවුන් ඔවුන්ගේ පරමාධිපතිගෙන් වූ සත්‍යය අනුගමනය කළ බැවිණි. මිනිසුනට ඔවුන්ගේ උපමාවන් අල්ලාහ් ගෙන හැර පානුයේ එලෙසය
4.එහෙයින් ප්‍රතික්ෂේප කළවුන් නුඹලා (යුද බිමේ) හමු වූ විට (ඔවුන්ගේ) ගෙලවල් වෙතට පහර දෙනු. අවසානයේ නුඹලා ඔවුන් අභිභවනය කර ගත් විට යුද්ධය තම ආයුධ බිම තබන තෙක් (ඔවුන්) ග්‍රහණය කිරීම නුඹලා තදින්ම සිදු කරනු. එය පසු අනුග්‍රහ දැක්වීමක් හෝ වන්දි ලබා ගැනීමක් විය හැක. මෙය (අල්ලාහ්ගේ නියෝගය) වේ. අල්ලාහ් අභිමත කරන්නේ නම් ඔවුන්ගෙන් ඔහුම විපාකඵලය ගනු ඇත. නමුත් (ඔහු එසේ සිදු නොකළේ) නුඹලාගෙන් ඇතැමෙක් ඇතැමෙකු විසින් ඔහු පරීක්ෂාවට පත් කරනු පිණිසය. තවද අල්ලාහ්ගේ මාර්ගයේ ඝාතනය කරනු ලැබූවන් වනාහි ඔවුන්ගේ ක්‍රියාවන් අහිමි වී යන්නට ඔහු ඉඩ හරින්නේ නැත
12.විශ්වාස කොට යහකම් කළවුන්, ඒවාට පහළින් ගංගා ගලා බස්නා (ස්වර්ග) උයන් වලට නියත වශයෙන්ම අල්ලාහ් ඇතුළත් කරයි. තවද ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුහු (දඬුවම) භුක්ති විඳිති. තවද (මොලොව භුක්ති විඳින්නන්) ගොවිපළ සතුන් අනුභව කරන්නාක් මෙන් අනුභව කරති. තවද (නිරා) ගින්න ඔවුනට හිමි නවාතැනයි
15.බිය බැතිමතුන්හට ප්‍රතිඥා දෙනු ලැබූ ස්වර්ගයේ ස්වභාවය නම්, එහි පල් නොවන ජලයෙන් යුත් ගංගා ද, එහි රසය වෙනස් නොවන කිරි පානයෙන් යුත් ගංගා ද, පානය කරන්නන්හට රසවත් මුද්‍රිකපානයෙන් යුත් ගංගා ද, පිරිසිදු කරන ලද මී පැණියෙන් යුත් ගංගා ද ඇත. තවද ඔවුනට එහි සියලු පලතුරු ද, ඔවුන්ගේ පරමාධිපතිගෙන් වූ සමාව ද ඇත. ඔහු (නිරා) ගින්නේ සදාතනිකයෙකු මෙන් ද? තවද (එවන් නිරාවාසීන් වන) ඔවුනට ලෝ දිය පොවනු ලැබේ. එවිට එය ඔවුන්ගේ බඩවැල් කැබලි කරයි
16.තවද ඔවුන් අතුරින් නුඹ වෙත සවන් දෙන්නන් ද වෙති. නුඹ වෙතින් ඔවුන් පිට ව ගිය විට මොහු මොහොතකට පෙර කුමක් පැවසුවේ දැ?යි ඥානය දෙනු ලැබූවනට ඔවුහු (සමච්චලයෙන් යුතු ව) විමසති. තම හදවත් මත අල්ලාහ් මුද්‍රා තැබූ හා තම ආශාවන් අනුගමනය කළවුන් මොවුහුමය
19.එහෙයින් දැන ගනු. නියත වශයෙන්ම අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැත. ඔබේ පාපයන්ටත් දේව විශ්වාසකරන්නන් හා දේව විශ්වාසකරන්නියන්හටත් සමාව අයැදිනු. තවද අල්ලාහ් නුඹලාගේ ක්‍රියාකාරකම් හා නුඹලාගේ නවාතැන දනී
20.(යුද්ධය සම්බන්ධ ව) සූරතයක් (පරිච්ඡේදයක්) පහළ කරනු ලැබිය යුතු නොවේ දැ?යි විශ්වාස කළවුන් විමසති. නමුත් තීරණාත්මක සූරතයක් පහළ කරනු ලැබ එහි යුද්ධය සම්බන්ධ ව සඳහන් කරනු ලැබූ විට තම හදවත් තුළ රෝග ඇත්තවුන් මරණය තමන් වෙත වෙළා ගත් කෙනෙකු සිහි නැතිවී බලන්නාක් මෙන් නුඹ වෙත ඔවුහු බලති. එහෙයින් ඔවුනට (විනාශය) වඩාත් යෝග්‍යය
30.තවද අප අභිමත කරන්නේ නම් අපි නුඹට ඔවුන් පෙන්වන්නට තිබුණි. එවිට නුඹ ඔවුන්ගේ සලකුණු මගින් හඳුනා ගනු ඇත. සැබැවින්ම කතා විලාසයෙන් නුඹ ඔවුන් හඳුනා ගන්නට පුළුවන. තවද නුඹලාගේ ක්‍රියාවන් අල්ලාහ් දනී
32.නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කොට, අල්ලාහ්ගේ මාර්ගයෙන් වළක්වා, තමන්ට යහමග පැහැදිලි වූවායින් පසු ව රසූල්වරයාට විරුද්ධවන්නන් වනාහි ඔවුනට කිසිවකින් අල්ලාහ්ට හානි සිදු කළ නොහැක්කේමය. තවද ඔහු ඔවුන්ගේ ක්‍රියාවන් නිෂ්ඵල කරනු ඇත
38.අහෝ! මෙන්න! නුඹලා අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කරනු පිණිස නුඹලා ඇරයුම් කරනු ලැබුවන්ය. එහෙත් නුඹලා අතුරින් මසුරු වන්නන්ද වෙති. තවද කවරෙකු මසුරු වන්නේද එසේ ඔහු මසුරු වනුයේ ඔහු වෙනුවෙනි. නමුත් අල්ලාහ් අවශ්‍යතාවෙන් තොරය. තවද නුඹලා දිළින්දෝය. තවද නුඹලා පිටු පා යන්නේ නම් (නුඹලා වෙනුවට) නුඹලා හැර වෙනත් පිරිසක් ඔහු පත් කරනු ඇත. එවිට ඔවුහු නුඹලා මෙන් නොවනු ඇත