اسلام‌هاوس · සිංහල

1.(මෙය) සර්ව බලධාරී මහා ප්‍රඥාවන්ත අල්ලාහ්ගෙන් වූ ග්‍රන්ථයේ පහළ කිරීමකි
3.දැන ගනු! පිවිතුරු දහම අල්ලාහ් සතුය. තවද ඔහු හැර වෙනත් අය ආරක්ෂකයින් ලෙස ගත් අය ‘අල්ලාහ් වෙත අප සමීප කරවීමට මිස අපි ඔවුනට නැමදුම් නොකළෙමු (යැයි පවසති). ඔවුන් කවර දෙයක් තුළ මතභේද ඇති කරගත්තේද ඒ පිළිබඳ ව අල්ලාහ් ඔවුන් අතර නියත වශයෙන්ම තීන්දු දෙනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් බොරුකාර ප්‍රතික්ෂේප කරන්නන්හට මග නොපෙන්වයි
5.සත්‍යයෙන් යුතු ව අහස් හා මහපොළොව ඔහු මැව්වේය. තවද ඔහු රාත්‍රිය දහවල මත හකුළුවන්නේය. තවද ඔහු දහවල රාත්‍රිය මත හකුළුවන්නේය. තවද හිරු හා සඳ ඔහු වසඟ කළේය. ඒ සියල්ල නියමිත කාලයක් දක්වා ගමන් කරනු ඇත. දැන ගනු සර්ව බලධාරී අතික්ෂමාශීලී ඔහුය
6.එකම ආත්මයකින් ඔහු නුඹලා මැව්වේය. පසු ව එයින් එහි සහකාරිය ඇති කළේය. ගොවිපළ සතුන්ගෙන් ජෝඩු අටක් නුඹලාට පහළ කළේය. තුන් ආකාර අන්ධකාරයන් තුළ මැවීමකින් පසු මැවීමක් ලෙසින් නුඹලාගේ මව්වරුන්ගේ කුසවල් තුළ ඔහු නුඹලා මැව්වේය. එයයි නුඹලාගේ පරමාධිපති වූ අල්ලාහ්. සියලු ආධිපත්‍යයන් ඔහු සතුය. ඔහු හැර වෙනත් දෙවියෙකු නැත. එසේ නම් නුඹලා වෙනෙතකට යොමු කරනු ලබනුයේ කෙසේද
7.නුඹලා (ගුණමකු ලෙස) ප්‍රතික්ෂේප කරන්නේ නම් එවිට (දැන ගනු,) නියත වශයෙන්ම අල්ලාහ් නුඹලා ගැන අවශ්‍යතාවන්ගෙන් තොරය. තම ගැත්තන් සඳහා (ගුණමකු ලෙස) ප්‍රතික්ෂේප කිරීම ඔහු ප්‍රිය නොකරයි. තවද නුඹලා කෘතවේදී වන්නේ නම් ඒ ගැන ඔහු නුඹලා කෙරෙහි තෘප්තියට පත් වෙයි. බර උසුලන්නෙකු වෙනත් අයගේ (පව්) බර නොඋසුලනු ඇත. පසු ව නුඹලා නැවත යොමු විය යුතු ස්ථානය ඇත්තේ නුඹලාගේ පරමාධිපති වෙතය. එවිට නුඹලා කරමින් සිටි දෑ පිළිබඳ ව ඔහු නුඹලාට දන්වයි. නියත වශයෙන්ම ඔහු හදවත් සතු දෑ පිළිබඳ ව මැනවින් දන්නාය
8.තවද මිනිසාට යම් හානියක් ස්පර්ශ වූ විට ඔහු තම පරමාධිපති වෙත යොමු වී ඔහුට කන්නලව් කරයි. පසු ව ඔහුට ඔහුගෙන් වූ යම් අනුග්‍රහයක් පිරිනැමූ විට ඔහු මීට පෙර කවර දෙයක් වෙත කන්නලව් කරමින් සිටියේ ද එය අමතක කොට අල්ලාහ්ගේ මාර්ගයෙන් නොමග යවනු පිණිස ඔහුට සමානයන් තබයි. “ඔබ ඔබේ දේව ප්‍රතික්ෂේපය සමග ස්වල්ප කාලයක් භුක්ති විදිනු. නියත වශයෙන්ම ඔබ (නිරා)ගින්නේ සගයින් අතුරිනි” යැයි (නබි මුහම්මද්,) ඔබ පවසනු
9.මතු ලොව පිළිබඳ බියෙන් හා තම පරමාධිපතිගේ ආශිර්වාදය අපේක්ෂාවෙන් රාත්‍රී හෝරාවන්හි (සලාතයේදී) සුජූද් කරන්නකු සේ ද නැගී සිටින්නෙකු සේ ද ගැතිකම් කිරීමට අවදි ව සිටින්නා (එසේ නොකරන්නෙකු මෙන්)ද? “දන්නා අය හා නොදන්නා අය සමාන වේවි” දැයි (නබි මුහම්මද්) ඔබ විමසනු. (මෙමගින්) උපදෙස් ලබනුයේ ප්‍රබුද්ධිමත් උදවියයි
15.එහෙයින් නුඹලා ඔහු හැර නුඹලා අභිමත දෑට ගැතිකම් කරනු. (නබිවරය,) “නියත වශයෙන්ම පරාජිතයින් වනුයේ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තමන්ට හා තම පවුලට පාඩු ඇති කර ගත්තවුන්ය. දැන ගනු. එයයි ප්‍රකට පරාජය” යැයි පවසනු
16.ඔවුනට ඉහළින් (නිරා) ගින්නෙන් වූ ආවරණයක් ද ඔවුනට පහළින් ආවරණයක් ද ඔවුනට ඇත. එය අල්ලාහ් එමගින් තම ගැත්තන් බිය ඇති කරයි.“අහෝ මාගේ ගැත්තනි! එහෙයින් නුඹලා මට බිය බැතිමත් වනු.” (යැයි තවදුරටත් පවසනු)
20.නමුත් තම පරමාධිපතිට බිය බැතිමත් වූ අය වනාහි ඔවුනට මන්දිර ඇත. ඒවාට ඉහළින් ඉදි කරන ලද මන්දිර ද ඇත. ඒවාට පහළින් ගංගාවෝ ගලා බසිති. (එය) අල්ලාහ්ගේ ප්‍රතිඥාවක් වශයෙනි. අල්ලාහ් එම ප්‍රතිඥාව කඩ නොකරයි
21.නියත වශයෙන්ම අල්ලාහ් අහසින් ජලය පහළ කොට එය මහපොළොවේ උල්පත් අතර ගලා යන්නට සලස්වා එමගින් (විවිධ වර්ණවලින් යුත්) විවිධ වර්ගයේ බෝග හට ගන්වා පැහෙන්නට සලස්වයි. එවිට ඔබ එය රන්වන් පැහැයෙන් දකිනු ඇත. පසු ව එය ඉපැනැලි බවට පත් කරයි. නියත වශයෙන්ම එහි බුද්ධිමතුන්ට උපදෙසක් ඇත
22.අල්ලාහ් කවරෙකුගේ හදවත ඉස්ලාමය වෙත විවෘත කළේද සැබැවින්ම ඔහු ඔහුගේ පරමාධිපතිගේ ආලෝකය මත සිටින්නේය. අල්ලාහ් ව මෙනෙහි කිරීමෙන් දුරස් වූ බැවින් තම හදවත් රළුවූවන්ට විනාශය අත්වේවා! ඔවුහු පැහැදිලි නොමගෙහි වෙති
23.තම පරමාධිපතිට බියවන්නන්ගේ හම් එමගින් කිළිපොළා යන, නැවත නැවතත් (යුගල වශයෙන්) ප්‍රකාශ වන එකිනෙකට සමාන අලංකාර කතාව ග්‍රන්ථයක් වශයෙන් ඔහු පහළ කළේය. පසු ව ඔවුන්ගේ හම් හා ඔවුන්ගේ හදවත් අල්ලාහ් මෙනෙහි කිරීම සඳහා මොළොක් වනු ඇත. එය අල්ලාහ්ගේ මග පෙන්වීමයි. ඔහු අභිමත කරන අයට එමගින් ඔහු මග පෙන්වනු ඇත. තවද අල්ලාහ් කවරෙකු නොමග යන්නට ඉඩ හැරියේද ඔහුට කිසිදු මග පෙන්වන්නකු නැත
29.මතභේදවලින් යුත් (බොහෝ) හවුල්කරුවන් සතු වූ මිනිසෙක් හා එකම මිනිසෙකුට පමණක් අයත් වූ මිනිසෙක් අල්ලාහ් උපමා වශයෙන් ගෙන හැර දැක්වීය. උපමාවෙන් ඔවුන් දෙදෙනා එක හා සමාන ද? සියලු ප්‍රශංසා අල්ලාහ්ටය. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා නොදනිති
38.අහස් හා මහපොළොව මැව්වේ කවුදැ?යි ඔබ ඔවුන්ගෙන් විමසුවේ නම් ඔවුහු “අල්ලාහ්” යැයි පවසති. පවසනු, “අල්ලාහ්ගෙන් තොර ව නුඹලා කන්නලව් කරන දෑ පිළිබඳ නුඹලා කුමක් සිතන්නෙහුද? - අල්ලාහ් මා වෙත යම් නපුරක් සිතුවේ නම් එම නපුර ඔවුන් ඉවත් කරන්නන් වෙත් ද? එසේ නැතහොත් අල්ලාහ් මා වෙත යම් ආශිර්වාදයක් සිතුවේ නම් ඔහුගේ ආශිර්වාදය ඔවුන් වළක්වන්නන් වෙත්ද? යැයි විමසනු. (නබිවරය) “අල්ලාහ් මා හට ප්‍රමාණවත්ය. විශ්වාස කරන්නන් ඔහු වෙත පමණක් විශ්වාස කරත්වා” යැයි පවසනු
41.නියත වශයෙන්ම අපි සත්‍යයෙන් යුතු ව දහම් ග්‍රන්ථය ජනයා සඳහා, ඔබ වෙත පහළ කළෙමු. එහෙයින් කවරෙකු (එමගින්) යහමග ලබන්නේ ද එය ඔහු වෙනුවෙන්මය. තවද කවරෙකු නොමග යන්නේ ද එසේ ඔහු නොමග යනුයේ ඔහුටම එරෙහිවමය. තවද ඔබ ඔවුන් කෙරෙහි භාරකරුවකු නොවේ
42.ආත්මාවන් ඒවා මරණයට පත් වන මොහොතේ ද නින්දේදී මරණයට පත් නොවූ දෑ ද අත්පත් කර ගන්නේ අල්ලාහ්ය. කවර ආත්මයක් මත මරණය තීන්දු කළේද එය (ආපසු නොයවා) ඔහු රඳවා තබා ගනී. සෙසු දෑ නියම කරන ලද කාලයක් දක්වා ඔහු එවනු ඇත. වටහා ගන්නා ජනයාට නියත වශයෙන්ම එහි සංඥා ඇත
46.අදෘශ්‍යමාන දෑ හා පිටතට පෙනෙන දෑ ගැන දන්නා වූ අහස් හා මහපොළොවේ මැවුම්කරුවාණෙනි! ඔබේ ගැත්තන් කවර විෂයක් තුළ මතභේද ඇති කර ගනිමින් සිටියේ ද ඒ ගැන ඔවුන් අතර තීන්දු දෙනුයේ ඔබ යැයි (නබි මුහම්මද්) පවසනු
47.අපරාධ කළවුනට මහපොළොවේ ඇති සියල්ල ද ඒ සමගම ඒ හා සමාන ව තවත් තිබුණ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දඬුවමේ බිහිසුණුභාවයෙන් මිදීම සඳහා වන්දි වශයෙන් ඒවා දෙනු ඇත. ඔවුන් අපේක්ෂා නොකරමින් සිටී දෑ අල්ලාහ්ගෙන් ඔවුනට හෙළිවනු ඇත
49.මිනිසාට යම් හානියක් ස්පර්ශ වූ විට ඔහු අපට කන්නලව් කරයි. පසු ව අපගෙන් වූ දයාවක් අපි ඔහුට පිරිනැමූ විට, “නියත වශයෙන්ම එය මට දෙනු ලැබුවේ (මාගේ) දැනුම අනුවය” යැයි පවසයි. නැත එය පරීක්ෂණයකි. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා (ඒ බව) නොදනිති
56.අල්ලාහ් සම්බන්ධයෙන් මා වැරදි කර තිබීම හේතුවෙන් මට විනාශයයි. තවද නියත වශයෙන්ම මම සමච්චල් කරන්නන් අතුරින් වූයෙමි යැයි කෙනෙකු පවසා සිටීමට පෙර (නුඹලා වෙත පහළ කරනු ලැබූ වඩාත් අලංකාර දෑ පිළිපදිනු)
67.තවද අල්ලාහ් ව නියම අයුරින් මහිමයට පත් කළ යුතු ආකාරයට ඔවුහු ඔහව මහිමයට පත් නොකළහ. තවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මහපොළොව මුළුමණින්ම ඔහුගේ ග්‍රහණයේ පවතී. තවද අහස් ඔහුගේ දකුණතෙහි ඔතනු ලැබ තිබේ. ඔවුන් ආදේශ කරන දැයින් ඔහු උත්තරීතරය. සුවිශුද්ධය
68.සූර් (නම් හොරණෑවෙ)හි පිඹිනු ලැබේ. එවිට අල්ලාහ් අභිමත කළ අය හැර අහස් තුළ ඇති අය හා මහපොළොවෙහි ඇති අය මරණයට පත් වෙති. පසු ව එහි තවත් වාරයක් පිඹිනු ලැබේ. එවිට ඔවුහු නැගී සිටිමින් අවධානයෙන් බලා සිටිති
69.මහපොළොව, එහි පරමාධිපතිගේ ආලෝකයෙන් උදා වෙයි. තවද ප්‍රගති ලේඛන තබනු ලැබේ. නබිවරුන් හා සාක්ෂිකරුවන් ගෙන එනු ලැබේ. ඔවුන් අතර සත්‍යයෙන් යුතු ව තීන්දු දෙනු ලැබේ. ඔවුනට අසාධාරණයක් සිදු කරනු නොලබති
71.දෙවියන් ප්‍රතික්ෂේප කළවුන් නිරය වෙත කණ්ඩායම් වශයෙන් මෙහෙයවා ගෙන යනු ලැබේ. ඔවුහු ඒ දක්වා පැමිණි විට එහි දොරටු විවෘත කරනු ලැබේ. නුඹලාගේ පරමාධිපතිගේ වදන් පාරායනය කරන දහම් දූතවරුන් නුඹලා අතුරින් නුඹලා වෙත නොපැමිණියේ ද? තවද නුඹලාගේ මෙම දිනයේ හමුව පිළිබඳ නුඹලාට අවවාද නොකළේ දැ?යි එහි භාරකරුවන් ඔවුන්ගෙන් විමසනු ඇත. එසේය. යැයි ඔවුහු පවසති. එනමුත් දෙවියන් ප්‍රතික්ෂේප කළවුන් වෙත දඬුවමේ ප්‍රකාශය නියම විය
73.තම පරමාධිපතිට බිය බැතිමත් වූවන් ස්වර්ගය වෙත කණ්ඩායම් වශයෙන් මෙහෙයවා ගෙන යනු ලැබේ. ඔවුහු ඒ දක්වා පැමිණි විට එහි දොරටු විවෘත කරනු ලැබේ. “නුඹලාට සලාම් (ශාන්තියයි.) නුඹලා යහපත් අයුරින් කටුයුතු කර ඇත. එහෙයින් සදාතනිකයින් ලෙසින් එහි නුඹලා පිවිසෙනු.” යැයි එහි භාරකරුවන් ඔවුනට පවසනු ඇත
75.තවද අර්ෂ් අවට පිරිවරාගෙන තම පරමාධිපතිගේ ප්‍රශංසාව තුළින් ඔහු ව පිවිතුරු කරමින් සිටින මලක්වරුන් ඔබ දකිනු ඇත. ඔවුන් අතර සත්‍යයෙන් යුතු ව තීන්දු දෙනු ලැබේ. සකල ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ්ටම සියලු ප්‍රශංසා යැයි පවසනු ලැබේ