اسلام‌هاوس · සිංහල

1.අහෝ ජනයිනි! නුඹලාගේ පරමාධිපතිට නුඹලා බිය බැතිමත් වනු. නියත වශයෙන්ම අවසන් හෝරාවේ කම්පනය අතිමහත් කරුණකි
2.නුඹලා එය දකින දින, කිරි දෙන සෑම මවක්ම තමන් කිරි දෙන අයගෙන් (තම අවධානය) වෙනතකට යොමු කරයි. තවද දරු ගැබ් ගත් සෑම කතක්ම ඇයගේ ගැබ්බර (බිම) හෙළයි. තවද නුඹ ජනයා මත් බවින් සිටිනු දකියි. නමුත් ඔවුන් මත් බවින් නොවෙති. එනමුත් අල්ලාහ්ගේ දඬුවම ඉතා දැඩිය
5.අහෝ ජනයිනි! නැවත නැගිටුවනු ලැබීම පිළිබඳ නුඹලා සැකයක පසුවූයේ නම් එවිට (දැන ගනු) නුඹලාට (යථාර්ථය) පැහැදිලි කරනු වස් නියත වශයෙන්ම අපි නුඹලා ව පසින්ද, පසු ව ශුක්‍රාණුවෙන්ද, පසු ව ලේ කැටියෙන් ද, පසු ව හැඩ ඇති හා හැඩ නොමැති මස් පිඩුවෙන්ද (යන අනුපිළිවෙළින්) මැව්වෙමු. තවද අප අභිමත කරන පරිදි නියමිත කාලයක් දක්වා අපි ගැබ්තුළ රඳවන්නෙමු. පසු ව අපි බිළිදෙකු ලෙසින් නුඹලා ව බැහැර කරන්නෙමු. පසු ව නුඹලා වැඩිවියට පත් වනු ඇත. තවද නුඹලා අතර මරණයට පත්වන්නන් ද එමෙන්ම නුඹලා අතර ඥානය ලැබීමෙන් පසු කිසිවක් නොදන්නා තරමට වයෝවෘද්ධභාවය දක්වා ආයුෂ පිරිනමනු ලබන්නන්ද වෙති. තවද නුඹ මහපොළොව වියළි ව දකිනු ඇත. අපි ඒ මත ජලය පහළ කළ විට එය විකසිත වී, වැඩී සරුසාර සෑම වර්ගයකින්ම පැළෑටි හට ගනියි
9.(ඔහු) අල්ලාහ්ගේ මාර්ගයෙන් නොමග යැවීමට තම ගෙල පැත්ත වෙනතකට හරවමින් සිටියි. ඔහුට මෙලොවෙහි අවමානය ඇත. තවද අපි ඔහුට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දැවෙන (ගින්නේ) දඬුවම භුක්ති විඳින්නට සලස්වන්නෙමු
11.තවද ජනයා අතුරින් සැකය මත සිට අල්ලාහ්ට ගැතිකම් කරන්නාද වෙයි. යම් යහපතක් ඔහුට ඇති වූයේ නම් එමගින් ඔහු සැනසුමට පත් වෙයි. නමුත් ඔහුට යම් අර්බුදයක් ඇති වූයේ නම් ඔහුගේ මුහුණ මත හැරී යයි. මෙලොවෙහි හා මතු ලොවෙහි ඔහු පරාජිත විය. ප්‍රකට ඉමහත් පරාජය එයමය
15.මෙලොව හා මතු ලොව අල්ලාහ් ඔහුට (මුහම්මද්ට) උදව් නොකරන්නේම යැයි කවරෙකු සිතන්නේ ද, ඔහු අහස දෙසට ආධාරයක් දිගු කොට (පසුව අල්ලාහ් ඔහුට දෙන උදව් උපකාර) කපාහරිත්වා! එවිට ඔහුගේ කුමන්ත්‍රණය ඔහු කෝපය ඇති කරන දෑ ඉවත් කරනු ඇත්දැයි ඔහු බලත්වා
17.නියත වශයෙන්ම විශ්වාස කළවුන් ද යුදෙව් වූවන් ද සාබිඌන්වරු (සමහර නබිවරුව අනුගමනය කළ සමූහයක්) ද කිතුනුවන් ද ගිනි පුදන්නන් ද ආදේශ කළවුන් ද නියත වශයෙන්ම අල්ලාහ් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ඔවුන් අතර වෙන් කරයි. නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි නිරීක්ෂකය
18.අහස්හි සිටින අය ද මහපොළොවේ සිටින අය ද හිරු ද සඳු ද තාරකා ද කඳු ද ගස් ද සතුන් ද ජනයා අතුරින් බහුතරයක් දෙනා ද නියත වශයෙන්ම අල්ලාහ්ට සුජූද් කරනු නුඹ නොදුටුවෙහි ද? නමුත් බහුතරයක් දෙනා කෙරෙහි දඬුවම නියම විය. අල්ලාහ් කවරෙකු අවමන් කළේ ද එවිට ගරු කරන කිසිවකු ඔහුට නොමැත. නියත වශයෙන්ම අල්ලාහ් ඔහු අභිමත කරන දෑ සිදු කරයි
25.නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කොට ජනයා වෙනුවෙන් එහි රැඳී සිටින්නන්හට හා පිටස්තරයන්හට සමාන ලෙසින් අපි පත් කළ ශුද්ධ වූ මස්ජිදයෙන් හා අල්ලාහ්ගේ මාර්ගයෙන් වළක්වන්නන් ද (එම දඬුවමට භාජනය වනු ඇත.) තවද කවරෙකු සාපරාධී ලෙසින් එහි කෙලසීමට සිතන්නේ ද වේදනීය දඬුවමකින් භුක්ති විඳින්නට අපි ඔහුට සලස්වමු
26.(කඃබා ව නම්) ගෘහයේ ස්ථානය ගැන ඉබ්‍රාහීම්ට අපි පැහැදිලි කළ අවස්ථාව සිහිපත් කරනු. එවිට මට කිසිවක් ආදේශ නොකරනු. තවද නුඹ (කඃබා ව වටා) තවාෆ් කරන්නන්හටත් නැගිට නැමදුම් ඉටු කරන්නන් හටත් (කොන්ද නමා දණහිස් අල්ලා) රුකූඃ කරන්නන් හටත් (නළල බිම තබා) සුජූද් කරන්නන්හටත් මාගේ ගෘහය පිරිසිදු කරනු. (යැයි පැවසීය)
28.ඔවුන් සතු ප්‍රයෝජන ඔවුන් දකිනු පිණිසත් නියමිත දින ගණන් වල ගොවිපළ සතුන් අතුරින් ඔහු ඔවුනට පෝෂණය කළ දෑ කෙරෙහි (ඒවා කපන විට) අල්ලාහ්ගේ නාමය මෙනෙහි කරනු පිණිසත්ය. එහෙයින් නුඹලා එයින් අනුභව කරනු. තවද අවශ්‍යතා ඇත්තා හා දිළින්දාට ආහාර සපයනු
30.(කඃබාව ඉදි කිරීමේ අරමුණ) එය වේ. තවද කවරෙකු අල්ලාහ්ගේ පාරිශුද්ධ දෑට ගරු කරන්නේද එය ඔහුගේ පරමාධිපති අබියස ඔහුට යහපතක් වේ. තවද නුඹලා වෙත පාරායනය කර පෙන්වනු ලබන දෑ හැර ගොවිපළ සතුන් නුඹලාට අනුමත කරන ලදී. තවද පිළිමවල කිලිටෙන් නුඹලා වළකිනු. තවද නුඹලා නොහොඹිනා කතාවෙන් වළකිනු
34.තවද සෑම සමූහයක් සඳහාම ගොවිපළ සතුන් අතුරින් ඔවුනට ඔහු පෝෂණය කළ දෑ මත අල්ලාහ්ගේ නාමය මෙනෙහි කරනු පිණිස නැමදුම් පිළිවෙතක් අපි ඇති කළෙමු. එහෙයින් නුඹලාගේ දෙවිඳුන් එකම දෙවිඳුන්ය. එහෙයින් නුඹලා ඔහුට අවනත වනු. තවද යටහත් පහත්වූවනට (නබිවරය) නුඹ ශුභාරංචි දන්වනු
35.ඔවුහු වනාහි අල්ලාහ් මෙනෙහි කරනු ලබන විට ඔවුන්ගේ හදවත් තැති ගනියි. තවද ඔවුනට ඇති වන දෑ මත ඉවසිලිවන්තයින් වෙති. සලාතය විධිමත් ව ඉටු කරන්නන් වෙති. තවද අපි ඔවුනට පෝෂණය කළ දැයින් ඔවුහු වියදම් කරති
36.තවද ඔටුවන්, අපි එය නුඹලාට අල්ලාහ්ගේ සංඥා අතුරින් පත් කළෙමු. නුඹලාට එහි යහපතක් ඇත. එහෙයින් නුඹලා උන් පෙළගස්වා උන් මත අල්ලාහ්ගේ නාමය මෙනෙහි කරනු. උන්ගේ ඇලපත් වැටෙන්නට නියම වූ විට නුඹලා ඉන් අනුභව කරනු. තවද මුදිත වූ අයට හා ඉල්ලා සිටින්නාට ආහාර සපයනු. එලෙස නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිස අපි නුඹලාට උන් වසඟ කර දුන්නෙමු
37.උන්ගේ මාංශ හෝ උන්ගේ රුධිරය හෝ අල්ලාහ් වෙත නොලැබෙන්නේමය. එනමුත් ඔහු වෙත ලැබෙනුයේ නුඹලා අතුරින් වූ බිය බැතිමත්කමයි. නුඹලාට ඔහු මග පෙන්වූ දෑ වෙනුවෙන් නුඹලා අල්ලාහ් ව ශ්‍රේෂ්ඨත්වයට පත් කරනු පිණිස අපි උන් වසඟ කර දුන්නෙමු. තවද දැහැමියන්හට (නබිවරය!) නුඹ ශුභාරංචි දන්වා සිටිනු
40.ඔවුහු අපගේ පරමාධිපති අල්ලාහ් වේ යැයි පැවසීම හේතුවෙන් මිස කිසිදු යුක්තියකින් තොර ව ඔවුන්ගේ නිවෙස් වලින් ඔවුන් බැහැර කරනු ලැබූවන් වෙති. ජනයා, ඇතැමෙකු විසින් ඇතැමෙකු ව අල්ලාහ් නොවැළැක්වූයේ නම් ආශ්‍රම, කිතුනු දේවස්ථාන, යුදෙව් නැමදුම් ස්ථාන හා අල්ලාහ්ගේ නාමය අධික ව එහි මෙනෙහි කරනු ලබන මස්ජිදයන් විනාශ කරනු ලබන්නට තිබුණි. කවරෙකු ඔහුට (අල්ලාහ්ට) උදව් කරන්නේ ද නියත වශයෙන්ම අල්ලාහ් ඔහුට උදව් කරනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් අතිබලවත්ය, සර්ව බලධාරීය
46.ඔවුහු මහපොළොවේ ගමන් කළ යුතු නොවේ ද? එවිට එමගින් වටහා ගත හැකි අයුරින් සිත් හා එමගින් සවන් දිය හැකි අයුරින් කන්ද ඔවුනට පිහිටනු ඇත. නිසැකවම එහි ඇස් අන්ධ නොවෙයි. නමුත් හදවත් තුළ ඇති සිත් අන්ධ වෙයි
52.තමන් පාරායනය කරන විට ෂෙයිතාන් ඔහුගේ මනෝ ආශාවන්හි (වැරදි) හෙළමින් මිස අපි කිසිදු රසූල්වරයකු හෝ නබිවරයකු හෝ නොඑව්වෙමු. එවිට ෂෙයිතාන් හෙළන දෑ අල්ලාහ් නිෂ්ප්‍රභ කරයි. පසු ව අල්ලාහ් ඔහුගේ වදන් තීන්දු කරයි. තවද අල්ලාහ් සර්ව ඥානීය මහා ප්‍රඥාවන්තය
54.තවද සැබැවින්ම මෙය නුඹගේ පරමාධිපතිගෙන් වූ සත්‍යය බව ඥානය දෙනු ලැබූවන් දැනගෙන එය විශ්වාස කොට ඔවුන්ගේ හදවත් එයට යටහත් වනු පිණිස. (මෙසේ සිදු කරනු ඇත.) තවද නියත වශයෙන්ම අල්ලාහ් විශ්වාස කළවුනට ඍජු මාර්ගය වෙත මග පෙන්වන්නාය
58.තවද අල්ලාහ්ගේ මාර්ගයේ නික්ම ගොස් ඝාතනය කරනු ලැබූවන් හෝ මියගියවුන් වනාහි නියත වශයෙන්ම අල්ලාහ් ඔවුනට යහපත් පෝෂණයකින් පෝෂණය කරනු ඇත. තවද නියත වශයෙන්ම අල්ලාහ් පෝෂණය කරන්නන් අතුරින් ඉතා ශ්‍රේෂ්ඨය
60.එය (ඔවුන්ටම ය). තවද කවරෙකු කවර දෙයකින් දඬුවම් කරනු ලැබුවේ ද ඒ හා සමාන ව ඔහුට දඬුවම් කොට, එයට පසුව ඔහු කෙරෙහි සීමාව ඉක්මවා හිංසා කරනු ලබයි නම් එවිට අල්ලාහ් සැබැවින්ම ඔහුට උදව් කරනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් නොසලකා හරින අතික්ෂමාශීලීය
65.මහපොළොවේ ඇති දෑ ද, ඔහුගේ නියෝගය තුළින් මුහුදේ ගමන් කරන නැව් ද, අල්ලාහ් නුඹලාට වසඟ කර දී ඇති බව නුඹ නොදුටුවෙහි ද? ඔහුගේ අනුබලයෙන් තොර ව මහපොළොව මතට අහස කඩා නොවැටෙන සේ ඔහු රඳවා තබයි. නියත වශයෙන්ම අල්ලාහ් ජනයා කෙරෙහි සෙනෙහෙවන්තය. මහා කරුණාවන්තය
67.සෑම සමූහයකටම ඔවුන් ඔහුට නමදින අයුරින් නැමදුම් පිළිවෙතක් අපි ඇති කළෙමු. එහෙයින් එම කරුණ සම්බන්ධයෙන් ඔවුහු නුඹ සමග ගැටලු ඇති කර ගත නොයුතුය. තවද නුඹගේ පරමාධිපති වෙත නුඹ ඇරයුම් කරනු. නියත වශයෙන්ම නුඹ ඍජු මාර්ගය මතය
72.තවද ඔවුන් වෙත අපගේ වදන් පැහැදිලි ලෙස පාරායනය කර පෙන් වනු ලබන විට ප්‍රතික්ෂේප කළවුන්ගේ මුහුණුවල පිළිකුල් බව නුඹ දකිනු ඇත. ඔවුන් වෙත අපගේ වදන් පාරායනය කර පෙන්වන්නන් හට පහර දීමට ඔවුහු තැත් කරති. එහෙයින් නුඹ පවසනු. මීට වඩා නපුරු දෙයක් පිළිබඳ නුඹලාට මම දැනුම් දෙන්නද? (එය දේව වදන්) ප්‍රතික්ෂේප කරන්නන්ට අල්ලාහ් ප්‍රතිඥා කළ (නිරා) ගින්නය. තවද යොමු වන ස්ථානය නපුරු විය
73.අහෝ ජනයිනි, උපමාවක් ගෙන හැර පෙන්වන ලදී. එහෙයින් නුඹලා එයට සවන් දෙනු. නියත වශයෙන්ම අල්ලාහ්ගෙන් තොර ව නුඹලා ඇරයුම් කරන අය ඔවුන් සියලු දෙනා එකතු වුවද මැස්සෙකු හෝ ඔවුනට මැවිය නොහැක්කේමය. මැස්සා ඔවුන්ගෙන් යමක් පැහැර ගත්තේ නම් උගෙන් එය ඔවුහු මුදවා නොගනිති. අයැදින්නා හා අයැදිනු ලබන්නා දුර්වල විය
78.තවද නුඹලා අල්ලාහ්ගේ මාර්ගයේ කැප විය යුතු නියම අයුරින් කැපවනු. ඔහු නුඹලා ව තෝරා ගෙන ඇත. නුඹලා වෙත දහමෙහි කිසිදු දුෂ්කරත්වයක් ඔහු ඇති නොකළේය. එය නුඹලාගේ පියාණන් වූ ඉබ්‍රාහීම්ගේ පිළිවෙතයි. මීට පෙර මුස්ලිම්වරුන් යැයි නුඹලාට නම් තැබුවේ ඔහු (අල්ලාහ්) ය. මේ අනුවම රසූල්වරයා නුඹලාට සාක්ෂිකරුවකු වනු පිණිසත් නුඹලා ජනයාට සාක්ෂිකරුවන් වනු පිණිසත් (නම් තැබීය.) එහෙයින් නුඹලා විධිමත් ලෙස සලාතය ඉටු කරනු. තවද සකාත් පිරිනමනු. තවද අල්ලාහ් තදින් ග්‍රහණය කර ගනු. ඔහු නුඹලාගේ භාරකරුය. එම භාරකරු යහපත් විය. එමෙන්ම එම උදව්කරු යහපත් විය