اسلام‌هاوس · සිංහල

1.හා මීම්
5.ඔවුනට පෙර වූ නූහ්ගේ ජනයා ද ඔවුනට පසු වූ සතුරු කණ්ඩායම් ද (ඔවුන්ගේ දහම් දූතවරුන්) බොරු කළෝය. සෑම සමූහයක්ම තමන්ගේ දහම් දූතයාණන්ව ග්‍රහණය කිරීමට තැත් කළෝය. තවද ඔවුන් සත්‍යය විනාශ කරනු පිණිස අසත්‍යය ගෙන එමගින් තර්ක කළෝය. එහෙයින් මම ඔවුන් ග්‍රහණය කළෙමි. එවිට මාගේ දඬුවම කෙසේ වීද
7.අර්ෂය උසුලා ගෙන සිටින්නන් හා ඒ අවට සිටින්නන් ඔවුන්ගේ පරමාධිපතිගේ ප්‍රශංසාව තුළින් සුවිශුද්ධ කරති. තවද ඔහුව විශ්වාස කරති. තවද අපගේ පරමාධිපතියාණෙනි! දයාවෙන් හා දැනුමෙන් සියලු දෑ ඔබ පුළුල් ලෙස ආවරණය කර සිටින්නෙහිය. එහෙයින් පසුතැවිලි වී ඔබගේ මාර්ගය අනුගමනය කළවුන්හට ඔබ සමාව දෙනු මැනව! තවද නිරයේ වේදනාවෙන් ඔබ ඔවුන් ආරක්ෂා කරනු මැනව! යැයි විශ්වාස කළවුනට සමාව අයැද සිටිති
8.අපගේ පරමාධිපතියාණෙනි! ඔබ ඔවුනට ප්‍රතිඥා දුන් සදාතනික ස්වර්ග උයන් තුළට ඔවුන් හා ඔවුන්ගේ මුතුන් මිත්තන් ඔවුන්ගේ බිරියන් හා ඔවුන්ගේ පරපුරින් දැහැමි දෑ කළවුන් ද ඇතුළත් කරනු මැනව! නියත වශයෙන්ම ඔබ සර්ව බලධාරීය. මහා ප්‍රඥාවන්තය
10.‘දේව විශ්වාසය වෙත නුඹලා ඇරයුම් කරනු ලබන විට නුඹලා ප්‍රතික්ෂේප කරමින් සිටි අවස්ථාවේ නුඹලා තුළ වූ පිළිකුලට වඩා අල්ලාහ්ගේ පිළිකුල ඉමහත්ය.’ යැයි නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුනට ඇරයුම් කරනු ලැබීය
11.අපගේ පරමාධිපතියාණෙනි, ඔබ අප දෙවතාවක් මරණයට පත් කළෙහිය. තවද ඔබ අපට දෙවතාවක් ජීවය දුන්නෙහිය. එහෙයින් අපගේ පාපයන් අපි පිළිගන්නෙමු. එහෙයින් බැහැර වීමට කිසියම් මගක් ඇත් දැ?යි ඔවුහු (ප්‍රතික්ෂේප කරන්නන්) විමසා සිටිති
15.(ඔහු ඔහුගේ) තරාතිරම්හි උත්කෘෂ්ටය. අර්ෂ් (හෙවත් සිංහාසනය‍ෙ)හි හිමිපාණන්ය. එකිනෙකා හමුවන දිනය පිළිබඳ අවවාද කරනු පිණිස ඔහු තම ගැත්තන් අතුරින් අභිමත කරන්නන් වෙත තම නියෝගයෙන් වූ දේව පණිවිඩ පහළ කරයි
21.තවද ඔවුහු මහපොළොවේ සැරිසරා ඔවුනට පෙර සිටියවුන්ගේ අවසානය කෙසේ වීදැයි ඔවුහු අධීක්ෂණයෙන් නොබැලුවෝ ද? ඔවුහු මොවුනට වඩා මහපොළොවේ බලයෙන් හා සලකුණු තැබීමෙන් අධික වූහ. එවිට ඔවුන්ගේ පාපකම් හේතුවෙන් අල්ලාහ් ඔවුන් ග්‍රහණය කළේය. තවද අල්ලාහ්ගෙන් (ඔවුන්) මුදවාගන්නෙකු ඔවුනට නොවීය
25.අප වෙතින් වූ සත්‍යය සමග ඔහු ඔවුන් වෙත පැමිණි කල්හි “ඔහු සමග වූ දෙවියන් විශ්වාස කළවුන්ගේ පිරිමි දරුවන් මරා දමනු. ඔවුන්ගේ ගැහැනුන්ට ජීවිත දානය දෙනු.” යැයි ඔවුහු පැවසූහ. දෙවියන් ප්‍රතික්ෂේප කරන්නන්ගේ කුමන්ත්‍රණය මුළාවෙහි මිස නැත
26.“නුඹලා මා අතහැර දමනු. මම මූසා ව මරා දමමි. තවද ඔහු ඔහුගේ පරමාධිපතිට ඇරයුම් කරත්වා! නුඹලාගේ දහම ඔහු වෙනස් කරනු ඇත, එසේ නැතහොත් මහ පොළොවේ ඔහු අර්බුධ ඇති කරනු ඇතැයි සැබැවින්ම මම බිය වෙමි” යැයි ෆිර්අවුන් පැවසීය
28.“මාගේ පරමාධිපති අල්ලාහ් යැයි පැවසීම හේතුවෙන් නුඹලා මිනිසෙකු මරා දමන්නෙහු ද? නුඹලාගේ පරමාධිපති වෙතින් පැහැදිලි සාධක සමග සැබැවින්ම ඔහු නුඹලා වෙත පැමිණ ඇත. තවද ඔහු බොරුකාරයකු වන්නේ නම් ඔහුගේ බොරුව ඔහුට එරෙහිවමය. තවද ඔහු සත්‍යවාදියෙකු වන්නේ නම් නුඹලාට ප්‍රතිඥා දුන් ඇතැම් දෑ නුඹලාට හට ගනු ඇත. කවරෙකු සීමාව ඉක්මවා යමින් මහා බොරුකාරයකු ලෙස සිටියේ ද සැබැවින්ම අල්ලාහ් ඔහුට මග පෙන්වන්නේ නැතැ” යි ෆිර්අවුන්ගේ පවුල අතුරින් තම විශ්වාසය සඟවා සිටි මිනිසෙකු පැවසීය
29.අහෝ ජනයිනි! අද දින නුඹලා මහපොළොවේ අබිබවා යමින් ආධිපත්‍යය නුඹලා සතු කර ගෙන ඇත. නමුත් අල්ලාහ්ගේ දඬුවම අප වෙත පැමිණියේ නම් ඉන් අපට උපකාර කරනුයේ කවු ද? (යැයි ඔහු තවදුරටත් විමසීය.) මා දකින දෑ හැර වෙනෙකක් මම නුඹලාට නොපෙන්වමි. එමෙන්ම යහමග හැර වෙනත් මගක් මම නුඹලාට නොපෙන්වමි” යැයි ෆිර්අවුන් පැවසීය
31.නූහ්ගේ ජනයා, ආද්, සමූද් හා ඔවුනට පෙර සිටි කණ්ඩායම් වැනි අයට සිදුවූවාක් මෙන් (යමක් නුඹලා වෙත සිදුවීම ගැන නියත වශයෙන්ම මම බිය වෙමි) තවද ගැත්තන් හට අපරාධයක් සිදු කිරීමට අල්ලාහ් අපේක්ෂා නොකරයි.” යැයි විශ්වාස කළ එම පුද්ගලයා පැවසීය
34.“තවද මීට පෙර සැබැවින්ම යූසුෆ් පැහැදිලි සාධක සමග නුඹලා වෙත පැමිණියේය. නමුත් ඔහු කවර දෙයක් නුඹලා වෙත ගෙන ආවේ ද ඒ ගැන සැකයෙහි නුඹලා ඉවත් නොවී සිටියෙහුය. ඔහු මිය ගිය විට ඔහුගෙන් පසු ව ‘අල්ලාහ් රසූල්වරයකු එවන්නේම නැතැයි’ නුඹලා පැවසූවෙහුය. කවරෙකු සීමාව ඉක්මවා යමින් සැක ඇති කරන්නේ ද එවැන්නන් අල්ලාහ් නොමග යවනුයේ එලෙසය.”
35.“ඔවුහු වනාහි ඔවුනට පැමිණි කිසිදු බල සාධකයක් නොමැතිව ඔවුහු අල්ලාහ්ගේ වදන් සම්බන්ධයෙන් තර්ක කරති. අල්ලාහ් අබියස හා විශ්වාස කළවුන් අබියස වෛරය අතිමහත් විය. අහංකාර බලාධිකාරී සෑම හදවතක් මත ම අල්ලාහ් මුද්‍රා තබනුයේ එලෙසය.”
37.තවද අහස්හි මාර්ග වෙත මා පිවිස මූසාගේ දෙවියා මා දැකබලා ගත යුතුයි. "එනමුත් නියත වශයෙන්ම ඔහු බොරුකාරයෙකු ලෙස මම සිතමි” ෆිර්අවුන්ගේ නපුරු ක්‍රියාවන් ඔහුට අලංකාර කර පෙන්වනු ලැබුවේ එලෙසය. තවද ඍජු මාර්ගයෙන් ඔහු වළක්වනු ලැබීය. ෆිර්අවුන්ගේ කුමන්ත්‍රණය විනාශය තුළ මිස නොවීය
40.“කවරෙකු යම් නපුරක් සිදු කළේ ද ඒ හා සමාන දෙයක් මිස ඔහුට ප්‍රතිඵල වශයෙන් දෙනු නොලැබේ. තවද යම් පිරිමියකු හෝ වේවා කාන්තවක හෝ වේවා තමන් විශ්වාසවන්තයකු ව සිට දැහැමි ක්‍රියාවක් සිදු කළේ ද ස්වර්ගයට පිවිස, එහි කිසිදු ගණනයකින් තොර ව පෝෂණය දෙනු ලබන අය වනුයේ ඔවුහුමය.”
42.“මා අල්ලාහ් ප්‍රතික්ෂේප කරනු පිණිසත් කවර දෙයක් පිළිබඳ මට දැනුමක් නොමැත්තේ ද එවන් දෙයක් ඔහුට මා ආදේශ කරනු පිණිසත් නුඹලා මාහට ඇරයුම් කරන්නෙහුය. තවද මම නුඹලා ඇරයුම් කරනුයේ අති ක්ෂමාශීලී සර්ව බලධාරියාණන් වෙතය.”
43.“නියත වශයෙන්ම නුඹලා කවර කෙනෙකු වෙත මා ඇරයුම් කරන්නේ ද ඔහුට මෙලොව හෝ මතු ලොව (ඇරයුම් කිරීමේ) කිසිදු උරුමයක් නැතැයි යන්නටත් සැබැවින්ම අපගේ නැවත යොමු වීමේ ස්ථානය අල්ලාහ් වෙතය යන්නටත් තවද නියත වශයෙන්ම සීමාව ඉක්මවා ගියවුන් වන ඔවුහු (නිරා) ගින්නේ සගයින් වන්නේය යන්නටත් කිසිදු සැකයක් නැත.”
47.තවද (නිරා) ගින්නේ ඔවුන් එකිනෙකා වාද කරමින් සිටින විට “නියත වශයෙන්ම අපි නුඹලා අනුගමනය කරමින් සිටියෙමු. එහෙයින් (නිරා) ගින්නෙන් කොටසක් අපගෙන් ඉවත් කරන්නන් ලෙස නුඹලා සිටින්නෙහු” දැයි දුබලයෝ උඩඟු වූ අයගෙන් විමසනු ඇත
50.“නුඹලාගේ දහම් දූතවරුන් පැහැදිලි සාධක සමග නොපැමිණියේ දැ”යි ඔවුහු විමසති. “එසේය” යැයි ඔවුහු පවසති. “එසේ නම් නුඹලා ඇරයුම් කරනු” යැයි ඔවුහු කියති. තවද දේව ප්‍රතික්ෂේපකයින්ගේ ඇරයුම මුළාවෙහි මිස නැත
56.නියත වශයෙන්ම තමන් වෙත පැමිණි කිසිදු අධිකාරී බලයක් නොතිබිය දී අල්ලාහ්ගේ වදන් සම්බන්ධයෙන් තර්ක කරන්නන් වන ඔවුන්ගේ සිත් තුළ උඩඟුකම මිස වෙනෙකක් නැත. ඔවුහු එය ලබන්නන් නොවෙති. එහෙයින් ඔබ අල්ලාහ්ගෙන් ආරක්ෂාව අයැද සිටිනු. නියත වශයෙන්ම ඔහු සර්ව ශ්‍රාවකය. සර්ව ඥානීය
60.“නුඹලා මා අමතනු. මම නුඹලා(ගේ ප්‍රාර්ථනාව) පිළිගනිමි. නියත වශයෙන්ම මට ප්‍රාර්ථනා කිරීමෙන් (ඈත් වී) උඩඟුකම් පාමින් සිටියවුන් අවමානයට පත් වූවන් ලෙසින් නිරයට මතු පිවිසෙනු ඇත.” යැයි නුඹලාගේ පරමාධිපති පවසයි
61.රාත්‍රිය එහි නුඹලා සැනසුම ලබනු පිණිසත් දහවල පෙනෙන්නට හැකි ලෙසත් නුඹලා වෙනුවෙන් ඇති කළේ අල්ලාහ්ය. නියත වශයෙන්ම අල්ලාහ් ජනයා වෙත භාග්‍යය පිරිනමන්නාය. නමුත් ජනයාගෙන් බහුතරයක් දෙනා කෘතවේදී නොවෙති
64.මහපොළොව වාසස් ස්ථානයක් ලෙස ද අහස වියනක් ලෙස ද නුඹලා වෙනුවෙන් ඇති කළේ අල්ලාහ්ය. තවද නුඹලාගේ හැඩරුව ඔහු අලංකාර කළේය. තවද නුඹලාව ඔහු හැඩ ගැන්වීය. තවද යහපත් දැයින් නුඹලාට ඔහු පෝෂණ සම්පත් පිරිනැමීය. එයයි නුඹලාගේ පරමාධිපති වූ අල්ලාහ්. එහෙයින් ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ් අතිඋත්කෘෂ්ට විය
66.මාගේ පරමාධිපතිගෙන් පැහැදිලි සංඥා මා වෙත පැමිණි කල්හි අල්ලාහ්ගෙන් තොර ව නුඹලා ඇරයුම් කරන අයට මා නැමදුම් කිරීමෙන් නියත වශයෙන්ම මම තහනම් කරනු ලැබුවෙමි. තවද ලෝකයන්හි පරමාධිපතිට මා යටහත් වන්නටත් මම අණ කරනු ලැබුවෙමි. යැයි (නබිවරය) ඔබ පවසනු
67.මැටියෙන් ද පසු ව ශුක්‍රාණු බිඳුවකින් ද පසු ව එල්ලී පවතින කැටියකින් ද නුඹලා මැව්වේ ඔහුය. පසු ව ඔහු නුඹලා බිළිදෙකු වශයෙන් බැහැර කරයි. පසු ව නුඹලා වැඩිවියට පත්වන්නටත් පසුව වයෝවෘද්ධභාවයට පත්වන්නටත් ඔහු සලස්වයි. නුඹලා අතුරින් ඊට පෙර මරණයට පත් කරනු ලබන්නන් ද වෙති. නුඹලා වටහා ගත හැකි වනු පිණිස (මෙසේ) නියමිත කාලයක් දක්වා නුඹලා ළඟා වන්නට ඉඩ හරියි
77.එහෙයින් (නබිවරය) ඔබ ඉවසීමෙන් සිටිනු. නියත වශයෙන්ම අල්ලාහ්ගේ ප්‍රතිඥාව සැබෑවකි. එහෙයින් සැබැවින්ම අපි ඔබට පෙන්වනුයේ අප ඔවුනට ප්‍රතිඥා දුන් දෑ හි සමහරක් පමණි. එසේ නැතහොත්, අපි ඔබ මරණයට පත් කරන්නෙමු. එවිට ඔවුන් නැවත යොමු කරනු ලබනුයේ අප වෙතමය
78.ඔබට පෙර දහම් දූතවරු සැබැවින්ම අපි එව්වෙමු. ඔවුන් අතුරින් අපි ඔබ වෙත කතා විස්තර කළ අය වෙති. තවද ඔබ වෙත අපි කතා විස්තර නොකළ අය ද වෙති. අල්ලාහ්ගේ අනුමැතියෙන් තොර ව කිසිදු සාධකයක් ගෙන ඒමට කිසිදු දහම් දූතයකුට නොවීය. අල්ලාහ්ගේ නියෝගය පැමිණි විට යුක්තිසහගත ව තීන්දු කරනු ලැබීය. එහි දී වැරදි කළවුන් පරාජිත වුහ
82.ඔවුහු මහපොළොවේ සැරිසරා ඔවුනට පෙර සිටියවුන්ගේ අවසානය කෙසේ වී දැයි අධීක්ෂණය නොකළෝද? මොවුනට වඩා ඔවුහු මහපොළොවේ (සංඛ්‍යාවන්) අධික මෙන්ම බලයෙන් සහ (හැර දමා ගිය) සලකුණු වලින් ඉතා බලවත් වූහ. නමුත් ඔවුන් උපයමින් සිටි දෑ ඔවුනට ඵලක් නොවීය
83.එවිට ඔවුන් වෙත ඔවුන්ගේ දහම් දූතවරුන් පැහැදිලි සාධක සමග පැමිණි කල්හි, තමන් ළඟ තිබෙන දැනුම ගැන ඔවුහු (අහංකාරයෙන් යුතු ව) සතුටු වූහ. ඔවුන් කවර දෙයක් පිළිබඳ සමච්චල් කරමින් සිටියේ ද එය ඔවුන් වටකර ගත්තේය